මත්ද්‍රව්‍ය උවදුර පිටු දකිමු

ශ්‍රී  ලංකාවේ  මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ .ක්‍රිස්තු වර්ෂ 1505දී ලංකාව පෘතුගීසීන් විසින් ද ඉන් පසුව ලන්දේසින් හා ඉංග්‍රීසින් විසින් ද ආක්‍රමණය කරන ලදී .ප්‍රථමයෙන් පෘතුගීසීන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන අතර පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ. 1829 දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රී ලංකාවේ අබිං වගාව සංවර්ධනය සඳහා ගොවීන් දිරිමත් කිරීම පිණිස අනුබල දෙන ලදී .මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමයි .එසේම මේ වන විට අබින් වෙළඳාම  ක්‍රමවත් කිරීම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබූ අතර එමගින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි. අබිං කෑම සමාජ ප්‍රශ්නයක් වූ හෙයින්  1867 අංක 19 දරණ අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.

එක්දාස් නවසිය තිස් ගණන්වල ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජා ය. 1948 වන විට ශ්‍රී ලංකාවට නාමික නිදහස ලබාදී තිබූ නමුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක් ම උත්සාහ නොගෙන තිබුණි.අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනතේ 1984 අංක 13 දරන විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත මගින් සංශෝධනය කරන ලදී .1984 අංක 11 දරණ අන්තරාදායක ඖෂධ  පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත නමින් පණ වූ පනතක්  මගින් අන්තරාදායක ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී .

70 දශකයේ අවසානයේ දී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ද ආරම්භ විය. මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ට ප්‍රධානතම හේතුවක්


ලෙස 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දිය හැක.මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපෑ තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ශ්‍රී ලංකාව  පිහිටා ඇති ස්ථානයයි.එනම් අවාසනාවකට මෙන් ලංකාවට ආසන්න  ප්‍රදේශ දෙකක් ලෝකයටම විෂ මත් ද්‍රව්‍ය නිපදවන කලාප දෙකක් වීමයි. එනම් නැගෙනහිර දෙසින් ස්වර්ණමය ත්‍රිකෝණය   ලෙස හැඳින්වෙන ලාඕසය, තායිලන්තය, බුරුමය යන කලාපයන්ද  බටහිර ස්වර්ණ චන්ද්‍රවංක ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්තානය, ඉරානය පාකිස්ථානය කලාප යන දෙකයි.මෙම කලාප දෙකටම මැදින් පිහිටුවා  තිබීම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව  තුළ ව්‍යාප්ත වීමට හේතුවක් විය.
මත්ද්‍රව්‍ය ප්‍රචාරය වීම සම්බන්ධයෙන් රටේ සංචාරක ව්‍යාපාරයද බෙහෙවින් වගකිව යුතුය. මේ නිසා ශ්‍රී ලංකාවේ දකුණු පළාත, නැගෙනහිර  වෙරළ තීරයේ සංචාරක ප්‍රදේශ වලටත් මත්ද්‍රව්‍ය වලට යොමු වී ඇති තරුණ කොටස් සීඝ්‍රයෙන් වැඩි වී ඇත .එසේම ජාත්‍යන්තර ගමන් බිමන් 1978න්  පසු ශීඝ්‍රයෙන් ඉහළ යෑම ද මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපෑ තවත් හේතුවකි. මැදපෙරදිග සේවය කරන ලාංකික කාන්තාවන්  මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගනී. ඇමරිකාවේ මාපියා, කටෝරා ආදී සංවිධාන ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට විශ්වාස කළ හැක.   
අද වන විට හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර වේ .මත්ද්‍රව්‍ය නිසා පැන නගින ප්‍රබල සංසිද්ධියක් ලෙස සිය දිවි නසා ගැනීම ප්‍රබල වේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇතිවන මානසික විකෘති පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පොළඹවනු ලබයි. මරණයට පත්වීම හෝ අකර්මන්‍ය තත්ත්වයට පත්වුවහොත් පවුල් කුටුම්භය තුළ නැගිය හැකි ගැටලු  අතිමහත්ය. වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා පාර්ශවයද ප්‍රතිශතයක් ලෙස ඉහළ යමින් පවතී.දුම්බිම සම්බන්ධයෙන් ද සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට සිගරට් දුුම් ආශ්‍රිත  ලෙඩ රෝග වලින් වසරකට මිලියන 2.5 ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වේ . මේවා අතර හදවත් රෝග, පිළිකා , යන රෝගයන් බහුල වේ.

වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය පුවත්පත්, සඟරා, සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් පුද්ගලයාට බලවත් ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරට් ආදිය පිළිබඳව සුබවාදී  මතයකි.පසුගිය දශක කීපය  පුරාවටම රටේ නොයෙක් ප්‍රදේශ වලින් අසන්නට ලැබුණේ මත්කුඩු සම්බන්ධ වැටලීම් පිළිබඳවයි. අප රටේ මත්කුඩු නිපදවන්නේ නැත. එහේ 2011 වසරේ අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ වාර්තාවන්ට අනුව අප රටේ   දිනකට මත් කුඩු භාවිතා කරන්නන් වෙනුවෙන් දිනකට මත්කුඩු කිලෝ දෙකක් භාවිතා වී ඇත. 2014 මෙය තවත් ඉහළ ගොස් ඇත .අප රටේ නීතිය අනුව මත්ද්‍රව්‍ය  ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගැනීම මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙන බරපතළ වරදකි. 2017 වර්ෂය  තුළ දී මත්පැන් හා මත්ද්‍රව්‍ය  පිලිබඳ තීරණාත්මක කරුණු කාරණා රැසක් ගනු ලැබූ වර්ෂයක්  විය. එහිදී බියර් බදු අඩු  කිරීම ඉන් කැපී  පෙනේ.වසංගත තත්ත්වයක් බවට පත් වී ඇති මෙම මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමට යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබීම වැදගත් වේ .එහිදී ආගම මගින්  ඉටුවිය යුතු කාර්යයක් ලෙස අදහස් කරන දේ හරි ආකාරව ඉටුකිරීමට  හැකි සමාජ පසුබිමක් මේ රට තුළ නිර්මාණය කළ යුතුය. එසේම තරුණ තරුණයින් තුළ ගුණාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපන අවස්ථා සලසා දීමත් වැදගත් ය. පුනරුත්ථාපන සහ පසු විපරම සිදු කළ හැකිය. විවිධ සංවිධාන මගින් උපදේශන සේවාවන් ද මෙහි දී දියත් කිරීම වඩා වැදගත් වේ.
වැඩි වශයෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය  හා දුම්පානය අඩු කළ හැකි නමුත්  එවිට සමහර අය වඩාත් අහිතකර ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙති. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ  නීතිමය මත්පැන්වල මිල ඉහළ යන විට නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය ද ඉහළ යන්නේය. මේ තුළින් අනිටු විපාක මහජනයාට ලැබිය හැක එය සාධාරණ විසඳුමක් ලෙස ගත නොහැක .කෙසේ වෙතත් මේ සඳහා සක්‍රීයව රජය සෘජුව මැදිහත් වීම වැදගත් වේ .අනාගත තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා මෙම  විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධව දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම රජය  විසින් සිදුකළ යුතුය .
" මත් රකුසා තුරන් කරමු ..... "

නිමි....

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා