මාධ්‍ය සහ ත්‍රස්තවාදය

 


ත්‍රස්තවාදය හා මාධ්‍ය  අතර සම්බන්ධයට දිගු  ඉතිහාසයක් ඇත. ත්‍රස්තවාදී  සංවිධාන සිය පණිවිඩ සදහා  නිරන්තරයෙන් යොදාගනු ලබන්නේ මාධ්‍යයි. එබැවින් ත්‍රස්තවාදය පැවැත්ම සඳහා මාධය නැතිවම බැරි තත්ත්වයක් අද වන විට උදා වීඇත .බහුත්වාදී මාධ්‍ය භාවිතය ඇතුළත විවිධ පන්නයේ මාධ්‍ය  ක්‍රියාත්මක වේ. ඇතැම් මාධ්‍ය මහජන සේවා මාධ්‍ය වන අතර තවත් මාධ්‍ය වාණිජ මාධ්‍යය වේ. බහුත්වාදය තුළදී විවෘත වෙළඳපොළ සඳහා ඇත්තේ වැඩි ඉඩකි. එබැවින් නිර්බාධි තත්වයන් යටතේ තරඟකාරීත්වය සඳහා වැඩි ඉඩක් යොමු කෙරේ. මෙම තරගකාරී මාධ්‍ය පරිසරය තුළ දී  එක් මාධ්‍යයක් අනෙක් මාධ්‍යයට කලින් තොරතුරු වාර්තා කිරීමට උත්සුක වෙයි. බහුත්වාදී  සමාජය තුළ ඇති වී තිබෙන මෙම ප්‍රවණතාවය ත්‍රස්තවාදී සංවිධාන තව තවත් ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනී යයි. එබැවින් වඩ වඩාත් ප්‍රචණ්ඩ ප්‍රහාර අමානුෂික ප්‍රහාර කෙරෙහි  ඔවුන් යොමු වන අතර ජනමාධ්‍ය විසින් ඒවා තරගකාරී  ආකාරයෙන්  වාර්තා කෙරේ .එය ත්‍රස්ත සංවිධාන වලට ස්ථාපිත වීම සඳහා වැඩි ඉඩක් සපයන්නකි. නිදසුනක් ලෙස අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වූ ආකාරය වඩා වෙනස් ආකාරයෙන් අයි එස් සටන්කාමීන් ක්‍රියාත්මක වෙති.

අල්කයිඩා සංවිධානයේ ම ශක්තිය යොදාගනිමින් නව ස්වරූපයක් ලෙස නිර්මාණය වූ අයි එස් සංවිධානය සිය ප්‍රහාර ඉතා මිලේච්ඡ ආකාරයකින් ක්‍රියාත්මක කරන බව පෙනී යයි. එය අයි එස් සංවිධානය වඩ වඩාත් ප්‍රචලිත කිරීමට දැඩි අන්තවාදීන් අතර ජනප්‍රියතාවය දිනාගැනීමට ඉවහල් වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට දහස් ගණනකින් විදේශීය සටන් කාමීන් ද අයි එස් සංවිධානය සමග එක්ව මැදපෙරදිගට පැමිණ සටන් කරන තත්ත්වයක් ඇතිවී තිබේ. මෙවැනි ඇතැම් විදෙස් සටන්කාමීන් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලින් පැමිණීම අයි එස් සටන් සංවිධානය උපායමාර්ගික සැලැස්ම සාර්ථක වූ බව ලක්ෂණයකි. ජන මාධ්‍යට විවෘත වන පරිද්දෙන් මිනිසුන් ගේ හිස ගසා දැමීම,කෞතුක වස්තු විනාශ  කිරීම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වැනි උපක්‍රම අයි එස් සංවිධානය ක්‍රියාත්මක කරමින් සිටී. සංවිධානය මේ සියල්ල සිදු කරන්නේ ජන මාධ්‍යට නිරාවරණය වන අයුරිනි . ජනමාධ්‍ය ආයතන ඉතා තරගකාරී ආකාරයෙන් එම වීඩියෝ දර්ශන ඡායාරූප ආදිය ප්‍රදර්ශනය කරන බව අප දන්නා කරුණකි .


ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේ කාර්යය සම්බන්ධයෙන් ද විද්වත් ලෝකය තුළ උභතෝකෝටිකයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ත්‍රස්තවාදියා යන්න නිර්වචනය කර ගැනීම ම ගැටලුවක් වී ඇත. කෙනෙකුට ත්‍රස්තවාදියෙකු වන  අයෙකු තවත් කෙනෙකුට විප්ලවවාදියෙකු විය. එසේ නැත්නම් රණවිරුවෙකු විය හැකිය. විමුක්තිකාමීයෙකු විය හැකිය. මේ තත්ත්වය යටතේ ත්‍රස්තවාදයට සම්බන්ධ දෑ වාරණය කරන්නේ එය කරන රේඛාව ඇත්තේ කොහේ දැයි යන්න සොයා ගැනීම උගහට වී ඇත.

ත්‍රස්තවාදයෙන් හා මාධ්‍ය අතර ඇති ඓන්ද්‍රිය සම්බන්ධය  වඩාත් විශ්ලේෂණාත්මක ලෙස බැලුවහොත් නව  සංකීර්ණයක් ගොඩනැගී ඇති බව පෙන්වා දීමට පුළුවන. මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සහ ත්‍රස්තවාදය අතර විසම සංකීර්ණයක් ලෙස එය සඳහන් කිරීමට හැකිය. මාධ්‍ය මත ත්‍රස්තවාදය පැවැත්ම, විසරනයත් රඳා පවතී. ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ  විවෘත සමාජය නැමැති ශිෂ්ටාචාරය තුළ  නිර්මාණය වූ වැදගත් තත්ත්වය එක්තරා සූරාකෑමකට ලක් වූ අවස්ථාවක් වශයෙනි.

මිෂෙල් ෆුකෝගේ ඇතැම් න්‍යායන් මගින් මාධ්‍ය සහ ත්‍රස්තවාදය අතර ඇති ජෛවීය සම්බන්ධය පිළිබඳ යම් අදහසක් ගත හැකිය. මිෂෙල් ෆූකෝ විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාලයන්ගේ බලය පිළිබඳ නියායන් ගොඩනඟනු ලැබීය.ජෙරමි බෙනතම් බ්‍රිතාන්‍ය චින්තකයා විසින් දහනවවැනි සියවසේ දී පැනොප්තිසය නම් සංකල්පය ගොඩ නැගුවෙ එක් ස්ථානයක සිට අති විශාල පිරිසක් නිරීක්ෂණය කිරීම සඳහාය. මේ සංකල්පය නිර්මාණය වූයේ මූලික වශයෙන් සිරකරුවා නිරීක්ෂණය කිරීමට ය. එය ගෘහ නිර්මාණාත්මක ආකෘතියක් විය. අර්ධ වක්‍රාකාර ගොඩනැගිල්ලක කේන්ද්‍රයක සිට සියලු දෙනා නිරීක්ෂණය කිරීම සහ කිසිවෙකුට තමන් නිරීක්ෂණය වනු ලැබේ දැයි නොදැනීමත් මෙම සැලැස්මේ ලක්ෂණයකි .

මාධ්‍ය පාරිභෝගිකයන් අතර අවශ්‍යතාව මඟින් පනවනු ලබන බල සම්බන්ධතාවක් නිර්මාණය වනු ලැබේ. ඔවුන්ගේ අවශ්‍යතා නිතිපතා යාවත් කාලීන වේ. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම නිෂ්පාදකයන් වන මාධ්‍ය ආයතන වල උත්සාහයක් වේ. මේ අතර තමන්ගේ පැවැත්ම සඳහා නිදසුනක් ලෙස ආරක්ෂාව සඳහා තොරතුරු ලබා ගැනීමට පාරිභෝගිකයා යොමුවේ. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නේ තමන්ගේ ආරක්ෂාව පිලිබඳ තක්සේරු කර ගැනීමටයි. ඔවුන්ගේ බල අවශ්‍යතා  ජාලය තුන්වැනි පාර්ශ්වයක් වන ත්‍රස්තවාදය වෙත වේදිකාවක් නිර්මාණය කර දේ. මේ චක්‍රීය ක්‍රියාවලියකි . 

ඇතැම් විචාරකයෙකු සඳහන් කරන්නේ නවීන ත්‍රස්තවාදය යනු මාධ්‍ය  ත්‍රස්තවාදය බවයි. සෙසු  සියලු වැඩසටහන් උත්සව සිද්ධි ආදිය ඉක්මවමින් ත්‍රස්තවාදය නාට්‍යමය ස්වභාවයකට පත් වෙමින් මහා පරිමාණ ලෙස අවධානය ආකර්ෂණය කර ගැනීමට යොමුව පවතී. තමන්ට අවධානය දිනා දිනාගැනීම සදහා ප්‍රචණ්ඩත්වයත් මාධ්‍යයත් යොදාගැනීම ලෝකෙ බරපතළ අර්බුදයක් ගෙන දෙන්නකි. දේශපාලන පද්ධතිය තුළ තමන්ට අවශ්‍ය වෙනසක් කර ගැනීම සඳහා ඇති මෙවලම බවට ප්‍රචණ්ඩත්වය පත්කර ගනිමින්  මාධ්‍ය ඒ සඳහා සහයක් කර ගැනීමෙන් මෙම ක්‍රමවේදය මෙවලම් ගතවීමකට පත්වීම වැලැක්විය නොහැක්කකි.

දිල්🖊️🖊️...


Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා