දේශීය සම්පත් පිටරැටියන්ට දී රට සුරපුරයක් කළ හැකිද?

 


වර්තමානය වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විදේශීය රාජ්‍යයන්ගේ මැදිහත්වීම් වලට අදාල පසුබිම අවබෝධ කරලීම පහසු කිරීම පිණිස වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා චීනය, ඇමරිකාව සහ ඉන්දීය රාජ්‍ය මැදිහත් වීමට බලපා සිටින බව පෙනේ .ඒ ඇතැම් විට ශ්‍රී ලංකාවේ පිහිටීම හා ලංකාවට අයත්  සම්පත් ඉහත කී රටවල දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන බැවිනි .මෙරට සම්පත් විදේශීය සමාගම් වලට පැවරීම පිළිබඳ ප්‍රශ්න සඳහා  1977 න් පසු මෙරට බලයට පත් ඇතැම් ආණ්ඩු වගකිව යුතුය. 1977න් පසු බලයට පත් ඇතැම් ආණ්ඩු මෙරට සම්පත් විදේශීය රටවලට විකිණීමෙන් ලැබෙන මුදලින් මෙරට ජන ජීවිතය නගා සිටුවීම "ආර්ථික සංවර්ධනය" ඇති කිරීම වශයෙන් සිතා දිගින් දිගටම මෙම සුදු වේ නියැලීම විනෝදාංශයක් බවට පත්කරගෙන තිබේ.

ලංකාවේ එදා සිට අද දක්වා සංවර්ධන වැඩපිළිවෙලවල් මෙන්ම දේශපාලනයද මහත්   පුදුමාකාරය. මේ පුදුමාකාර බව නිසාම ලංකාවේ එදා සිට අද දක්වාම දියුණු වෙමින් පවතින රටක් ලෙස නිර්වචනය වේ. එයට හේතු කීපයකි. කලින් කල බලයට පැමිණෙන පදනමකින් තොර සංවර්ධන සැලසුම් බොහෝ විට මෙයට හේතු සාධක වී ඇත. සැබැවින්ම අපි වෙනස් ජාතියකි. ඒ මන්ද යත් රටේ සම්පත් පිටරැටියන්ට ලබාදී කිසිදා සැබෑ නොවන සංවර්ධනය පිළිබඳ හීන දකින ජන කොට්ඨාසයක් වීම විහිළුවට කරුණකි .

පසුගිය රාජ කාලයේ විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ජාතික සම්පත් විකිණීමක් සිදු  නොකරන බවට පොරොන්දු වුවත් අද වෙන විට ජාතික සම්පත් විකිණීම ආණ්ඩුවේ එකම ආදායම් මාර්ගය බවට පත්වී ඇත.  මේ වන විට ලංකාව සතු වැදගත් සම්පත් වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකුනීමට සූදානම් වෙයි. චයිනා හාබර් හා චයිනා මර්චන්ට් යන සමාගම් දෙකෙන් චයිනා මර්චන්ට්  සමාගමට මෙය විකුණා ඇත. මේ තුළ අන්ත දූෂණ ගණුදෙනුවක් සිදු වී ඇත. ඩොලර් බිලියනයක් වැඩිපුර දුන්  සමාගම නොසලකා ඩොලර් බිලියනයක් අඩුවෙන් දුන් සමාගමකට මෙලෙස විකුණා ඇත.

එසේම තවත් වසර නවයකින් තායිලන්තය හරහා  ඉදිවෙන ට්‍රා ඇල සිංගප්පුරුව හරහා යන නැව් වලින් 95% ක් ගමන් කරන්නෙත් ට්‍රා ඇල  හරහා ය. එහිදී සිංගප්පූරු වරාය පාළු වරායක් බවට  පත් වී නව සේද මාවතේ සංදිස්ථානය බවට පත් වන්නේ හම්බන්තොට වරායයි. අනාගතය ලෝකයේ වැඩියෙන්ම ආදායම් උපයන වරාය හම්බන්තොට වරාය බවට චීනය දැනුවත් හෙයින් මේ විකිණීම හරහා සංවර්ධිත රටක් වීමට තිබූ ස්වර්ණමය අවස්ථාව ලංකාවට අහිමි වී යයි.

එසේම දැනට තිබෙන අධිවේගී මාර්ග තුන චීනයේ ෂැංහොන්  සමාගමට මිලියන හයසියකට විකිණීමට බලාපොරොත්තු වේ. මත්තල ගුවන්තොටුපල ත්‍රිකුණාමල වරාය ද ඉන්දියාවට විකිණීමට බලාපොරොත්තු වෙයි. මේ හරහා අනාගත පරම්පරාවට ණය කන්දක් පමණක් ඉතිරි වේ.  මේ හරහා අනාගතයේ බිහිවන වන ආණ්ඩුවලට සිදුවන්නේ රටේ ජනතාව වහල් සේවයට විකිණීම පමණි.


රටක සම්පත් බදු දීම හා විකිණීම අද වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල පවා සිදු කරයි. උදාහරණයක් ලෙස කොමියුනිස්ට් රටවල්. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම හරහා අපට  යහපතක් සිදුවන්නේ නැත. එමෙන්ම කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීම ට අමතරව ගාලු වරායේ ඉඩම් අවුරුදු 35 ක් බදු දීමට මැනුම් කටයුතු සිදුකරයි. ගාල්ල පොලිස් බැරැක්කය ඇතුළු ඉඩම් අවුරුදු අනූ නවයකට  බදුදීමට මැනුම් කටයුතු සිදුකරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ෂධක් සමාගමට  බලහත්කාරයෙන් තියා ගැනීමට ඉඩ ලබා දී ඇත .


රටේ බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම මෙලෙස ජාතික සම්පත් රටේ ණය පියවා ගැනීම සඳහා බදු දීම හෝ විකිණීම සිදු කිරීම හරහා ඉදිරි පරම්පරාවට රටේ ජාතික සම්පත්වල  අයිතිය සහ හිමිකම නැති වී යයි. අවසානයේ රටට ඉතිරි වන්නේ ණය කන්දක් සහ එයින් පීඩාවට පත් වූ රටේ ජනතාවත්  පමණි. බලයට පත්වන්නන් තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගනිමින් තම ඕනෑ එපාකම්  සිදුකර අවසානයේ එහි බර  පවරන්නේ රටේ අහිංසක ජනතාවටයි .

තමන්ගේ රටේ සම්පත් අනුන්ට විකුණා  ධනවත් වූ කිසිම රටක් මේ ලෝකයේ නැත. තමන්ගේ  ආර්ථිකය, දේශීය විදේශීය ධනවතුන්ට රිසිසේ භුක්ති විඳීමට ඉඩ දී සංවර්ධනය වූ රටක් ද  ලෝකයේ නොමැත. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමෙන් පසුව තමන්ගේ රටේ තිබෙන සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් අද ආර්ථිකමය වශයෙන් ඉහළට ළඟා වූ රටවල් බොහොමයක් නිර්මාණය වී ඇත.

අපට අයිති සම්පත අප රැක ගැනීමට මහන්සි විය යුතුය. එහි ඵල නෙලාගැනීමට අනාගත පරම්පරාවට ඉඩ ලබා දිය යුතුය. අද ගැන පමණක් සිතමින් මෙවැනි විනාශකාරී ක්‍රියාවන් සිදු කරන ඈයන් අනාගතයට මාවත නිර්මාණය කරගෙන  අවසන්ය. එම නිසා රටේ ජනතාව බුද්ධිමත්ව තීරණ ගැනීම සිදුකරන්නේ නම් අපේ ජාතික සම්පත රැක ගැනීමට හැකිවේ.

නිමි.....


Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා