ශිල්පීය ක්‍රමවලින් පෝෂිත Citizen kane චිත්‍රපටය

"යථාර්ථවාදය හා ප්‍රකාශන වාදය, නාටකීය කුළු ගැන්වීම් සඳහා කදිම නිදසුනක් ලෙස citizen kane චිත්‍රපටය හැඳින්විය හැකිය."



Citizen kane නම් චිත්‍රපටිය  ඇමරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ charles foster kaneගේ කතාවකි.බල කාමය හා පෞරුෂත්වයෙන් හෙබි අසාමාන්‍ය වූ ගති ලක්ෂණ පිළිබිඹු කල kaneගේ චරිතය සිනමා වංශ කතාවේ එක්තරා සන්ධිස්ථානයක් පිළිඹිඹු කරන චරිතයක් ලෙස සලකනු ලබයි.kane ගේ ජීවිතයේ සෑම සිදුවීමක් මෙන්ම rosebud නම් වචනයද පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වේ. චිත්‍රපට වාර්තාකරුවෙක් මෙකී වචනය හා කේන්ගේ ජීවිතය අතර රහස කුමක් දැයි සෙවීම අරඹයි. අහංකාරකම, මමත්වය, විඥානවාදී දෘෂ්ටිය , ප්‍රචාරයට ඇති අසීමිත ආශාව ,පුද්ගලයින් හා මුළු සමාජ සංස්ථාවම සිය  බලයෙන් නතු කර ගැනීමේ අභිලාෂය kaneගේ චරිතයේ ලක්ෂණ වේ. එහෙත් වචනයේ පරිසමාප්තියෙන්ම kane යනු අද්විතීය චරිතයකි.

අඩක් උපහාසාත්මක වුත් ,අඩක් උද්වේගකර වූත් චිත්‍රපටයක් වූ මෙම කෘතියට orson welles නම් සිනමාකරුවා වේදිකා නාට්‍යයෙන් ලද පරිචයද එක් කොට ඇති බව පෙනේ. ප්‍රකාශනාත්මක ශෛලිය කලාකෘතියක ඇද ගැනීම තරම් අන්තරාදායක කටයුත්තකි.එහෙත් orson welles පසුබට වන අන්දමේ පුද්ගලයෙක් නොවේ. කෙසේ වුවද මෙකී ශිල්පීය හරඹවල ගුණාගුණ අප මනසින් සැණෙකින් බැහැරව යයි.ඒ වෙනුවට කෘතියේ විෂයපථය හා නාටකීය පෙළගැස්ම ඔස්සේ ගමන් කිරීමට නරඹන්නා මෙහෙයවනු ලබයි .

ප්‍රකාශනවාදී ශෛලිය යනු කෘතියක තේමාව අවධාරණය කිරීම සඳහා සංකේතාත්මක ආකෘතියක් භාවිත කිරීමේ ශෛලියකි. Kane යනු ඇමරිකාවයි. Kane යනු අපේම මිනිසෙකි. Kane යනු සමාජ සංස්ථාවයි. එහෙත් ඔහු ලෙයින් හා මසින් පිරි තවත් මිනිසෙකු බැව් welles  පවසයි. ඔහුගේ චරිතයේ යථාර්ථය හැමවිටම ගැබ්ව ඇත්තේ අසත්‍යයේ කඩඉම අසලය.

චිත්‍රපටයේ ශෛලිය පවා මෙම ද්විතීක ගති ලක්ෂණ පිළිබිඹු කරන අතර විටෙක යථාර්ථය හා බැඳෙමින් විටෙක ඉන් ඈත්ව භයංකර වූ සිහිනමය සිතුවිලි ජනිත කරයි. යථාර්ථවාදී  ජවනිකා තාත්විකය. සමහර අවස්ථාවලදී සංවාද පමණට වඩා තාත්වික ලෙස ඉදිරිපත් වී ඇති අතර කෙනෙකු දෙඩීම අවසන් කිරීමටද ප්‍රථම තවකෙකු දොඩනු ඇසේ. ඔවුහු දෙඩීම අවසන් කිරීමටද ප්‍රථම තවකෙකු දොඩනු ඇසේ. ඔවුහු වාක්‍ය අවසන් නොකර අභිනයෙන් තම සිතැඟි ප්‍රකාශ කරති. දෙබස් ඛණ්ඩ අමතක කර අනවශ්‍ය තැන්වල දී කහින්නට, කිඹුහුම් අරින්නට, ඈනුම් අරින්නට පමණක් ගනී. ජවනිකාවෙන් ජවනිකාව මෙවැනි වෙහෙසකර තාත්විකත්වයක් ඇතුළත් කර ඇත.

උදාහරණයක් ලෙස පුවත්පත් සමාගමේ ලේඛකයින් සඳහා කේන් විසින් පවත්වන පිළිගැනීමේ සාදය.

එසේම භාවාතිශය වු නාටකීය අවස්ථාද පිළිබිඹුවේ.

 උදාහරණයක් ලෙස thatcher අනුස්මරණ පුස්තකාලයේ දර්ශනය හැඳින්විය හැක .

Kaneගේ වාසභෘන්ගය වූ xanaduහි ඔහුගේ බිරිඳ ගිනි උඳුනක් අසල කල්පනා ලෝකයක නිමග්නවේ. තමා නිව්යෝර්ක් නුවරට ගෙන යන ලෙස ඈ බැගාපත්වේ. මෙහි ප්‍රකාශනාත්මක ශෛලිය ප්‍රංශ පෙරටුගාමී සිනමාවේ ශෛලියකට ගැලපේ.

 උදාහරණයක් ලෙස පෙළ ගැසී සිටින සේවකයින් අතරින් kane ගමන් කරන අවස්ථාව.

 කේන්ගේ ජීවිතය හා චරිතය අතීතාවර්ජන ජවනිකා පෙළකින් ගොඩනැගී ඇත.

  1. Bernstein නම් ඔහුගේ සහායකයකු හා සමග පවත්වන්නකි. මෙහිදී තරුණ kena,the inquirer නම් පුවත්පත් අයිතිකරු මෙන්ම ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළ කාල පරිච්ඡේදය පිළිබඳ විවරණය වේ.
  2. Leland නම් ඔහුගේ හිතවත් මිත්‍රයෙකු හා අනුගාමිකයෙකු සමඟ පවත්වන්නකි. මින් ඔහුගේ මැදියම් වයස පිළිඹිබු වේ. කේන්ගේ පළමුවන හා දෙවන විවාහයත්, ඔහුගේ දේශපාලන ජීවිතය, එය බිඳ වැටීමට මුල් වූ කටකතා මෙන්ම තම දෙවැනි බිරිඳ පිළිබඳ leland  විසින් හෙළිකරන ලද පුවත් හා සම්බන්ධ සිදුවීම.
  3. අවසානයේ leland සේවයෙන් පහකොට දැමීමට මුල්වූ සිදුවීම් ඇතුළත් ජවනිකා රැසක්  මෙහිදී ඉදිරිපත් වේ.
Citizen kane  චිත්‍රපටය සහමුලින්ම පාහේ ශිල්පීය ප්‍රතිභාව හෙලි දක්වන සිනමා කෘතියකි. සමහර අවස්ථා වල දී මැනවින් හා සැලසුම් කොට සමබර කරන ලද රූප රාමු අයිසන්ස්ටයින්ගේ සිනමා ශෛලිය විදහාපායි. තවත් විටෙක සිනා සාරයෙන් අප කුල්මත් කෙරෙන රූප රාමු පෙළක් තිරයේ දිග හැරේ.

උදාරණයක් ලෙස kane හා ඔහුගේ මිතුරන් පැරණි Inquirer  පුවත්පත් කාර්යාලය ආක්‍රමණය කරන ජවනිකාව.

ඇතැම් අවස්ථාවල දී kaneගේ ජීවිතයේ විවිධ අවස්ථා පිළිබිඹු වන පැරණි සීරීගිය පුවත් චිත්‍රපට  ද ප්‍රදර්ශනයවේ. රූපමය භාෂාව මැනවින් එළි දැක්වෙන දර්ශන රැසක් සිටිසන් කේන් චිත්‍රපටයේ අඩංගුවේ.
 උදාහරණයක් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන kane, ජනතාව අමතා කතා කරද්දී වේදිකාව පිටුපස අලවා ඇති මැතිවරණ පෝස්ටරය සහිත රූපරාමුව.
 මෙවැනි ගාම්භීර සිනමා ශෛලියක් තුළින් kaneගේ චරිතය ඉස්මතු කරන මුත් ඔහුගේ මෘදු මොලොක් චරිත ලක්ෂණයන් විදහා පෑ අවස්ථා ද මෙහි නැත්තේ ම නොවේ.
උදාහරණයක් ලෙස The inquirer  පුවත්පත සඳහා kane විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන අවස්ථාද, තම දෙවැනි බිරිද ඉදිරියේ දී ඔහු විසින් කෙරෙන ආයාචනය ද, ඔහුගේ චරිතයේ දැක්වෙන දුර්වල ලක්ෂණයන් පිළිබිඹු කරයි.



Kane නම් අසාමාන්‍ය පුද්ගලයාගේ චරිතයේ මිනිස් ගුණාංග විවරණය කිරීම සඳහා orson welles ගෙන ඇති උත්සාහය ඔහුගේ සියලුම ශිල්පීය විස්කම් පසෙකලා වුවද අගය කළ හැකිය.
 ගැඹුරු නාභිගත කිරීම්, එනම් පෙරබිම හා පසුබිම එක ලෙස නාභිගත කරන ලද රූප රූපරාමු හා ප්‍රකාශනාත්මක ශෛලිය යන මේ කවර ශිල්ප ක්‍රමයක් වුවද මෙහි එන වෘත්තාන්තය ඉදිරියට ගෙන යාම සඳහා ඔහු විසින් භාවිත කොට ගන්නා ලද ශිල්ප ක්‍රම බව පැහැදිළිය.



 සිටිසන් කේන් සිනමා කෘතියක් ලෙස ශිල්පීය ක්‍රමවලින් පෝෂිත කෘතියකි. orson welles නම් සිනමාකරුවාගේ ප්‍රතිභාව, ශක්තිය හා බුද්ධිය මෙහි එන සෑම රූප රාමුවක් තුළින් ම පිළිඹිබු වන බව නොරහසකි.


දිල් .....✍️✍️✍️✍️

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා